සිංහල
කොරතොට අංගක්කරුවන්ගේ රන් කඩු පූජාව

ආයුබෝ වේවා ! ඇ‍ඟේ මැඬිල්ලෙන් ආරාධනාවක්...

මුල්ලේරියාවේ රණ හරඹ පෑ
වීර පරපුරේ
අංගං ශිල්පීන්ගේ
රණ කෙළිය ගැන
අතීතාවර්ජනයක් කරන්නටයි
මේ සූදානම...
රාසිං දෙයියන්
සිය රන් කඩුව පුදා
ඔප්පු කළ
යුධ පොරොන්දුව
යුග ගණන් සුරැකිව
පවත්වාගෙන ආ
අංගං පරපුරේ
449 වැනි සැමරුම
රන්කඩු පූජාවක් ලෙස
මුල්ලේරියා රණබිම දිනූ
නිකිණි මස 23 වන කුජ දින
හැන්දෑවේ 6 කණිසමට
වීර මුතුන් මිත්තන්ගේ
අනුහසින්
රන් කඩු පත්තිනි දේවාලේදී
ඔප්පු කෙරෙන වගයි...
එදාට අංගං සෙල්ලනුත්
පෙන්නන්නයි තීන්දුව
නොවරදවාම අපි වෙනුවෙන්
අවිත් යන්න එන්න
ඔබට බොහෝ පිං

 

සම්බුදු සරණයි

රණපිලේ අපි...

කඩු දෙවොල

1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දෙවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සවිශේෂී දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම දෙවොල ආරක්ෂා කිරීම පැවැරුණු අතර ඔවුන් විසින් මුල්ලේරියා යුද ජයග්‍රහණය සැමරීම වාර්ෂිකව කරගෙන එයි. මෙවර යෙදෙන්නේ මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 449 වැනි සැමරුමයි.

සීතාවක රජවාසලේ විශ්වාසවන්තම බලකොටුව බවට පත්වූයේ කඩුවෙල බලකොටුවයි. කොළඹ කොටුවේ සිට එන ඕනෑම සතුරු උපද්‍රවයක් කඩුවෙලින් මෙපිටට නොගියේ ය. එහි සිටි වීර අංගක්කරුවන් සහ එහි පිහිටීම නිසා කඩුවෙල බලකොටුව සුවිශේෂ විය. එය එක්වරම භූමියෙන් උස්ව පිහිටි කඳු ගැටයක් වූ අතර ප්‍රධාන මාර්ගයෙන් හා කැළණි ගඟින් ආවරණය වී පැවතිණි. රාජසිංහ රජුගේ නියමයෙන් මෙම කඩුවෙල කඩවත් බලකොටුව භාරව සිටියේ "කොරතොට ආරච්චි" නම් වූ අංගං සටන් පරපුරේ වීර සටන් ශිල්පියෙකු වූ කොරතොට කුරුප්පු ආරච්චි විය. කුරුප්පු ආරච්චිගේ සටන් වික්‍රමයන් මුළු රටම දැනහැඳින සිටිය හ. මේ හේතු කාරණා නිසාම පණට ආදරයක් ඇත්තකේ කඩුවෙල බලකොටුව බිඳීමට උත්සාහ ගත්තේ නැත.


කොරතොට අංගක්කරුවන්ගේ සහය ඇති පුහුණු කළ අංගංකරුවන් විශාල පිරිසක් කඩුවෙල බලකොටුවට රැස්වූ අතර සියලු අවි ආයුධ ද කඩුවෙල බලකොටුවේ තැන්පත් කෙරිණි. එහිදී කඩුහරඹ කළ ස්ථානය අද ද කඩුගං මැඩිල්ල ලෙස හඳුන්වයි. මේ අනුව මුල්ලේරියා යුද්ධයේ නිල ආයුධ ගබඩාව කඩුවෙල බලකොටුව බවට පත් විය රාජසිංහ රජු සිය යුද කස්තානය තැන්පත් කරන්නට බෙනයක් ඇසුරින් සකසා ගත් පැරණි මසන් ගස අද ද එහි නිරුපද්‍රිතව ඇත. නුවර යුගයේ ලියැවූ "නම් පොත" ලෙස හඳුන්වය ග්‍රන්ථයේ ද මෙම ස්ථානය "කඩු දෙවොල" ලෙස හැඳින්වේ.

රන් කඩු පූජාව

කොරතොට ආරච්චි වරුන්ගේ සටන් ‍හැකියාව භාවිතා කරමින් කඩුවෙල බලකොටුවේ සිට නැවත සේනාව මෙහෙය වූ රාජසිංහයන් පෘතුගීසීන්ට එරෙහිව යුද වැදෙන්නට පෙර තමන් දැඩි ලෙස ඇදැහූ පත්තිනි මෑණියන්ට භාරයක් විය. තමා යුද්ධය ජයග්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා මෙම කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවට වූ එම භාරය ඔපුපු කරනු වස් එහි තැනවූ පත්තිනි දේවාලය "රන් කඩු දොවොල" ලෙස හැඳින්වේ.

සිංහලයෙි විශිෂ්ටතම රණ ශූරයන් හා ගැටුණු ලොව දරුණුතම වර්ගයේ ආක්‍රමණිකයින් එක් දහස් හය සියයක් එකම ස්ථානයකදී පරාජය කරමින් මුල්ලේරියා වෙල ලෙයින් නැහැවූ එය යුද යජග්‍රහණය රාජවලියෙහි මෙසේ දැක්වේ.

"වික්‍රමසිංහ මුදලින් - බිඳී ගිය සැටි රාජසිංහ රජු දැකලා වම - දකුණු පලිහක්කාරයන් හා දෙබාගේ ඇතුන් හා තොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදා - දොළහ හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයන් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ට ඇරලා රජාසිහංහ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද හිටිනා කළ පුතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ. පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවක් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර ‍බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතීය. විජේසුන්දර බාගෙන ඓරාවණයා කියන ඇතා පළිසකුත් දම්වැලකුත් ගතී ය. රාජසිංහ රජු අසු පිටට නැගී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප්‍රතිකාලුන්ගේ මැදට වැදලා පලිසක්කාරයොත් ප්‍රතාකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවා හ. තුවක්කුවලින් ගසා ප්‍රතිකානෝ පලිසක්කාරයින් මැරුවාහ. රාජසිංහ රජු අසුට නැඟී විහිදුවා සේනාව වට කර දුවමින් රණ යුද ගිණි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙල මැද ලේ වතුර කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා එක්දාස් හසීයයක් ප්‍රතිකාලුන් හා කෝට්ටේ සේනාවගෙන් කීප දෙනෙකුත් පඩත්තලවරුන් කීප දෙනෙකුත් කොටා වැටුනා හ."

මේ දරුණු සංග්‍රමයෙන් ජයගත් රාජසිංහ රජු කඩුවෙල බලකොටුවේ දේවාලයක් තනවා සිය රන් අසිපත පූජා කළා පමණක් නොව රන්කඩු පත්තිනි දේවාලය ලෙස නම් කළ එය ආරක්ෂා කිරීමට කොරතොටින් යුද්ධයට ගිය අංගං ශිල්පීන්ට බාර කළේ ය. ඒ වෙනුවෙන් සන්නසක් ලෙස තමා මුල්ලේරියා සංග්‍රාමයට භාවිතා කළ යුද කස්තානය කොරතොට සටන් පරපුරට භාර දුන්නේ ය. රාජසිංහ රජුගේ අසිපත කොරතොට සටන් ශිල්පීහු අද දක්වා පණ සේ සුරකිති. යුද්ධයට සහභාගී වූ කොරතොට ආරච්චි අංගං පරපුරට හේවාගං කෝරළය ලෙසට ගම්වරයක් ද ප්‍රදානය කළ අතර ඒ පිළිබඳ සලකුණු ගල් අදද දක්නට තිබේ.

කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ ආරක්ෂාව පැවරුණු කොරතොට ආරච්චිවරුන්ගෙන් සටන් ප්‍රධානී වූ මහන්ත ආරච්චි පරපුර වර්තමානය දක්වාම අතීත සම්ප්‍රදාය නොකඩා එම චාරීත්‍ර වාරිත්‍ර සමඟ අංගං ශාස්ත්‍රය ද සුරැකිව පවත්වාගෙන එයි.


ඒ අනුව අගෝස්තු 23 වැනිදාට යෙදෙන මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 449 වැනි සැමරුම නිමිත්තෙන් මහන්ත ආරච්චි පරපුරේ උරුමකරුවන් විසින් මුල්ලේරියා සටනට උර දී මිය ගිය වීර මුතුන් මිත්තන්ට පිං දී, රාජසිංහ රජුගේ යුද පොරොන්දුව සංකේතවත් කරමින් රන් ආලේපිත කඩුවක් නැවත රන් කඩු පත්තිනි දේවාලයට පූජා කෙරෙන අතර අංගං සටන් දැක්මක් ද පවත්වනු ලැබේ.

--------------------------------

Published on: 2011-08-15