සිංහල
රාසිං දෙයියන්ගේ අංගංකරුවන් සුරැකි රන් කඩු දෙවොල

1562 දී මුල්ලේරියා සටනෙහි පෘතුගීසීන්ට එරෙහිව සීතාවක රාජසිංහ රජුට ශක්තියක් වෙමින් රණ හරඹ පෑ දේශයේ ඉපැරැණි අංගං සටන් පරපුරක් වන කොරතොට ආරච්චි සටන් පරපුර මුල්ලේරියා යුද ජයග්‍රහණය සමරමින් වාර්ෂිකව රන්කඩු පූජාවක් පවත්වයි. එය අගෝස්තු 23 සවස කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ දී පැවැත්වේ.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වර්ෂ1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දොවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම දෙවොල ආරක්ෂා කිරීම පැවැරුණු අතර ඔවුන් විසින් මුල්ලේරියා යුද ජයග්‍රහණය සැමරීම වාර්ෂිකව කරගෙන එයි. මෙවර යෙදෙන්නේ මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 449 වැනි සැමරුමයි.

ශ්‍රී ලාංකීය ඉතිහාසය වූ කලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම යුද ඉතිහාසයකි. සිංහලුන් තරම් රටක් වෙනුවෙන් යුද වැදුණු හා දිවි පුද කළ විරුවන් ලොව වෙනත් රටක නොමැති තරම් ය. නොනැවතුණු පරදේශක්කාරයින් ගේ ආක්‍රමණ හමුවේ අත රැඳි අසිපත බිම තබන්නට සිහලුන්ට විරාමයක් නොවී ය.

පාණ්ඩ්‍ය, චෝල, ආක්‍රමණවලින් අනතුරුව ලොව දරුණුත ම ආක්‍රමණිකයින් වූ පෘතුගීසීන් ගේ කෲර ආක්‍රමණවලට වරින් වර මුහුණ දීමට 1505 සිට සිංහලයින්ට සිදු විය. ක්‍රම ක්‍රමයෙන් දරුණු වූ එම ආක්‍රමණවලට එරෙහිව සිංහල රණ ශූරයින් නැඟී සිටිය ද දේශපාලන වාසි තකා පරංගීන්ට ආවැඩූ අපේ ම උදවිය පෘතුගීසීන් තව තවත් ශක්තිමත් කළහ.

මේ හේතුවෙන් පෘතුගීසී පිළිලය වඩ වඩාත් හෙළ දෙරණ වසා වැඩෙන්නට විය. මේ පරංගි ආක්‍රමණ හමුවේ ඊට නොබියව මුහුණ දුන් ප්‍රබලතම පුද්ගලයා වූයේ සීතාවක රාජසිංහ රජතුමා හෙවත් බොහෝ දෙනා දන්නා පරිදි ටිකිරි කුමාරයා ය. එතුමා අංගං සටන් ශිල්පයෙහි කෙළ පැමිණියෙකු වූ අතර අශ්වාරෝහණයට ඇතුළු රණ හරඹයෙහි උපන් හපන්කම් පෑ රණ සුරුවෙක් විය. ටිකිරි කුමරු ගේ රණ ශූරත්වය කෙතෙක් ද යත් වයස අවුරුදු එකොළහ පමණ දී සිය පියා වූ මායාදුන්නේ රජුගේ සේනාවේ අණ දෙන තනතුරක් දැරීමට පවා සමත් විය.

කෝට්ටේ රාජධානිය නතු කරගත් පෘතුගීසීන් ගේ ඊළඟ අභිප්‍රාය වූයේ සීතාවක රාජධානිය ද අත්පත් කර ගැනීමයි. මේ වෙනුවෙන් ඉතා දරුණු සටන් රැසක් ම විටින් විට පාතුගීසීන් විසින් දියත් කරනු ලැබූ අතර මුල්ලේරියාව දක්වා ම පහර දී ගෙන පැමිණි පෘතුගීසීහු 1562 දී මුල්ලේරියාව අසල වේරගොඩ ගමේ වාඩිලා ගත්හ.

1 රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජු ගේ යුද උපායශීලීත්වය අසම සම විය. “යුදට උපන් කුමරා” ලෙස ජන කවියා විසින් ද හඳුන්වනු ලැබූ එතුමා මුළු සීතාවක රාජධානියේ ම යුද මර්මස්ථානයන් හි බලකොටු තැනවී ය. ඒ අතර වර්තමාන කළුඅග්ගල බොස්කෝ විද්‍යාලය පිහිටි භූමියේ තිබුණු ගිරාඉඹුල බලකොටුව ද අතීතයේ ගුරුබැවිල නමින් හැඳිනු වූ වත්මන් හංවැල්ලේ පිහිටි බලකොටුව ද කඩුවෙල පිහිටි කඩවත් බලකොටුව ද සීතාවක රාජධානියේ ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස අතිශයින් ම වැදගත් විය.

පෘතුගීසීන්ට පහර දීමට මුලින් ම වේරගොඩ දක්වා ගිය රාජසිංහ රජුගේ සේනාධිපති වූ වික්‍රමසිංහ මුදලි නම් රණ ශූරයා ප්‍රමුඛ හමුදාවට පෘතුගීසීන් අතින් පරාජය වීමට සිදු වූ අතර වික්‍රමසිංහ මුදලි ද තුවාල ලැබී ය. මෙලෙස පරාජය වූ රාජසිංහයන් ගේ හමුදා ඛණ්ඩය කඩුවෙල බලකොටුව දක්වා පසු බැස්සේ ය.

සීතාවක රජවාසලේ විශ්වාසවන්ත ම බලකොටුණ බවට පත් වූයේ කඩුවෙල බලකොටුවයි.කොළඹ කොටුවේ සිට එන ඕනෑ ම සතුරු උපද්‍රවයක් කඩුවෙලින් මෙපිටට නොගියේ ය. එහි සිටි වීර අංගංකරුවන් සහ එහි පිහිටීම නිසා කඩුවෙල බලකොටුව සුවිශේෂ විය. එය එක්වර ම භූමියෙන් උස්ව පිහිටි කඳු ගැටයක් වූ අතර ප්‍රධාන මාර්ගයෙන් හා කැලණි ගඟින් ආවරණය වී පැවතිණි. රාජසිංහ රජුගේ නියමයෙන් මෙම කඩුවෙල කඩවත් බලකොටුව භාරව සිටියේ “කොරතොට ආරච්චි” නම් වූ අංගම් සටන් පරපුරේ වීර සටන් ශිල්පියෙකු වූ කොරතොට කුරුප්පු ආරච්චි විය. කුරුප්පු ආරච්චි ගේ සටන් වික්‍රමයන් මුළු රටම දැනහැඳින සිටිය හ. මේ හේතු කාරණා නිසා ම පණට ආදරයක් ඇත්තෙක් කඩුවෙල බලකොුව බිඳීමට උත්සාහ ගත්තේ නැත.

කඩුවෙල බලකොටුවේ ශක්තිමත්භාවය හා එහි රැස්ව සිටි රණාල, දැඩිගමුව, අතුරුගිරිය, කොරතොට වීර සටන් ශිල්පීන් නිසා එහි කීර්ති නාමය සීතාවක පැතිර ගියේ ය. එනිසා ම සීතාවක රජු ද කඩුවෙල බලකොටුව ගැන විශ්වාසයක් තැබී ය. තුවාල ලැබූ වික්‍රමසිංහ මුදලින් කැටුව කඩුවෙල දක්වා පසුබැස ගත් සීතාවක සේනාව ආරක්ෂිත කඩුවෙල බලකොටුවේ නැවතින.

කොරතොට කුරුප්පු ආරච්චි සමඟ පෘතුගීසීන්ට මුහුණ දෙන ආකාරය සාකච්ඡා කළ රාජසිංහ රජුට අපූරු තොරතුරක් දැන ගන්නට ලැබිණ. ඒ කඩුවෙලට යාබද කොරතොට ගමේ කොරතොට රජ මහා විහාරය ආරක්ෂා කරමින් අංගම් ශිල්පය පරතෙරට හැදෑරු කොරතොට ආරච්චිවරුන් පරම්පරා දහ අටක් වාසය කරන බව ය. එම සටන් ශිල්පීන් නිසා තම බලකොටුව සුරක්ෂිතව පවතින බව ද තමන් ද එම සටන් පරපුරේ කෙනෙකු බව ද පුරාණ යක්ෂ ගෝත්‍රික සම්භවයක් ඇති එම ආරච්චිවරු ඉතා දරුණු සටන් ශිල්පීන් බව ද රාජසිංහ රජුට දැන් වූ කුරුප්පු ආරච්චි ඔවුන්ගෙන් උදව් ලද හොත් මුල්ලේරියාව පහසුවෙන් ජය ගතහැකි බවත් රජුට සැල කළේය.

මේ තොරතුරු මත කොරතොට රජ මහා විහාරයට පැමිණි රාජසිංහ රජු කොරතොට ආරච්චිවරුන් ගේ ප්‍රධානියා වූ මහන්තේ ආරච්චි තෙන්නැහැ මුණ ගැසී යුද්ධය සඳහා උදව් ඉල්ලා සිටියේ ය. ඔවුන්ගෙන් ලැබූ එකඟත්වය මත පලිහේන ආරච්චි, රණවක ආරච්චි, කළු ආරච්චි, මල්ලව ආරච්චි ආදී සෙසු ආරච්චිලා ද ප්‍රමුඛව කොරතොට, අතුරුගිරිය යන ප්‍රදේශවල අංගං මඩු තුනක් පිහිටුවා දැඩිගමුවෙන්, රණාලෙන්, කොරතොටින්, අතුරුගිරියෙන්, හෝකන්දරින් තෝරා ගත් ජව සම්පන්න තරුණයින්ට හේවා අංගං ශිල්පයපුහුණු කරවා ඇත.

පසුව හෝකන්දරින් ගෙනා යපස් උණු කර අවි ආයුධ තනවා කොරතොට රජ මහා විහාරයේ සිට කැලණි ගඟට උමගක් තනවා එක් පිරිසක් කඩුවෙලින් ගොඩබිමෙන් ද අනෙක් පිරිස උමගෙන් ොස් ගඟෙන්ද මුල්ලේරියාවට ගොස් සටන් කරන ආකාරයට සේනාව සංවිධානය කළේය. මේ ක්‍රියාන්විතයේ දී හැඩිදැඩි මිනිසුන් සොයා ගත් ප්‍රදේශය දැඩිගමුව ද රණප්‍රයාණයට ඇල්මක් දැක් වූ මිනිසුන් සිටි ප්‍රදේශය රණාල ද රණ කෙළියට ප්‍රකට වූ බැවින් කෙළිතොට පසුව කොරතොට ද යපස් හෙවත් හේකන් ගෙනා ප්‍රදේශය හේකන් + අද්දර හෝකන්දර වූ බවද කියැවේ.

මෙලෙස පුහුණු කළ අංගංකරුවන් විශාල පිරිසක් කඩුවෙල බලකොටුවට රැස් වූ අතර සියලු අවි ආයුධ ද කඩුවෙල බලකොටුවේ තැන්පත් කෙරිණි. එහි දී කඩුහරඹ කළ ස්ථානය අද ද කඩුගං මැඩිල්ල ලෙස හඳුන්වයි. මේ අනුව මුල්ලේරියා යුද්ධයේ නිල ආයුධ ගබඩාව කඩුවෙල බලකොටුව බවට පත් විය.

රාජසිංහ රජු සිය යුද කස්තානය තැන්පත් කරන්නට බෙනයක් ඇසුරින් සකසා ගත් පැරැණි මසන් ගස අද ද එහි නිරුපද්‍රිතව ඇත. නුවර යුගයේ ලියැ වූ “නම් පොත” ලෙස හඳුන්වන පුරාණ ග්‍රන්ථයේ ද මෙම ස්ථානය “කඩු දෙවොල” ලෙස හඳුන්වයි.

මෙසේ කඩුවෙල බලකොටුවේ සිට නැවත සේනාව මෙහෙය වූ රාජසිංහයන් පෘතුගීසීන්ට එරෙහිව යුද වැදෙන්නට පෙර තමන් දැඩිලෙස ඇදැහු පත්තිනි මෑණියන්ට භාරයක් විය.

තමා යුද්ධය ජයග්‍රහණය කළහොත් තම රන් අසිපත පුදා මෙම කඩුවෙල බලකොටුවේ පත්තිනි දේවාලයක් තනවන බවට එම භාරය ඔප්පු කරනු වස් එහි තැන වූ පත්තිනි දේවාලය “රන්කඩු දෙවොල ලෙස හැඳින්වේ.

මුල්ලේරියා සටන පිළිබඳ පෝල් ඊ. පීරිස් මහතා ලියූ පෘතුගීසී යුගය නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි.

“කොරතොටින් පැමිණි ධීර වීර සෙබළු ද, ප්‍රවීණ ඉලංගක්කරුවෝ ද ඉලංගං සටන් පුහුණු වූ පනික්කි සටන්කරුවෝ ද මුල්ලේරියාව හා කඩුවෙල අතර විවෘත බිම් තීරයේ දී පෘතුගීසීන් වෙත කඩා පැන නිර්දය ලෙස පහර දීමට වූහ. රාජසිංහ තෙමේ ම පෙරමුණේ සිට දැඩි ප්‍රහැරයක් එල්ල කළ අතර කොරතොට හේවාගම ආච්චිවරුන් පසුපසින් ප්‍රහාර එල්ල කළේ ය. මහා ලේ ගංඟාවක් ගලා ගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදු විය.

මේ දරුණු සංග්‍රාමයෙන් ජයගත් රාජසිංහ රජු කඩුවෙල බලකොටුවේ දේවාලයක් තනවා සිය රන් අසිපත පූජා කළා පමණක් නොව රන්කඩු පත්තිනි දේවාලය ලෙස නම් කළ එය ආරක්ෂා කිරීමට කොරතොටින් යුද්ධයට ගිය අංගං ශිල්පීන්ට බාර කළේ ය. ඒ වෙනුවෙන් සන්නසක් ලෙස තමා මුල්ලේරියා සංග්‍රාමයට භාවිතා කළ යුද කස්තානය කොරතාට සටන් පරපුරට බාර දුන්නේ ය.

රාජසිංහ රජු ගේ අසිපත කොරතොට සටන් ශිල්පීහු අද දක්වා පණ සේ සුරකිති. යුද්ධයට සහභාගී වූ කොරතාට ආරච්චි අංගං පරපුරට හේවාගං කෝරළය ලෙසට ගම්වරයක් ද ප්‍රදානය කළ අතර ඒ පිළිබඳ සලකුණු ගල් අද ද දක්නට තිබේ. රන්කඩු පත්තිනි දේවාලය රැකීම වෙනුවෙන් යුද්ධයට භාවිත කළ කඩු වෙලක් මැද ගොඩ ගසා පැන් ඉස ස්ත්‍රෝත්‍ර ගයා රජුගේ නියමයට එකඟ වීමට පූජාව පැවැත් වූ ස්ථාන කඩුවෙල ලෙස නම් ලද බවද කියැවේ.

දේවාලය තනවා රාජසිංහ රජු වැඳුම් පිදුම් සඳහා පූජා කළ සත් පත්තිනි රුව රැගත් පෙතිකඩ ද අදටත් දේවාලයේ සුරක්ෂිතව පවතී. මෙලෙස මේ ඓතිහාසික සිද්ධි දාමයෙහි සාක්ෂි කඩුවෙල අවටින් ඕනෑතරම් සොයා ගත හැකි වෙයි.

කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ ආරක්ෂාව පැවරුණු කොරතොට ආරච්චිවරුන්ගෙන් සටන් ප්‍රධානී වූ මහන්ත ආරච්චි පරපුර වර්තමානය දක්වාම අතීත සම්ප්‍රදාය නොකඩා එම චාරිත්‍ර වාරිත්‍ර සමඟ අංගං ශාස්ත්‍රය ද සුරැකිව පවත්වා ගෙන එයි.

ඒ අනුව මේ මස 23 වැනිදාට යෙදෙන මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 449 වැනි සැමරුම නිමිත්තෙන් මහන්ත ආරච්චි පරපුරේ උරුමකරුවන් විසින් මුල්ලේරියා සටනට උර දී මිය ගිය වීර මුතුන් මිත්තන්ට පිං දී, රාජසිංහ රජු ගේ යුද පොරොන්දුව සංකේතවත් කරමින් රන් ආලේපිත කඩුවක් නැවත රන් කඩු පත්තිනි දේවාලයට පූජා කෙරෙන අතර අංගං සටන් දැක්මක් ද පවත්වනු ලැබේ.

--------------------------------

Published on: 2011-08-26