සිංහල
අංගම්පොර සටන් කලාව

විවිධ වූ සටන් කලාවන් අපි වර්තමානයේදී දකින්නෙමු. නමුත් මෙකී සටන් කලා තුළ ලංකාවට ආවේණික වූ සටන් කලාවක් අපට දැකගත නොහැක. එහෙත් අපගේ ඉතිහාසය පිරික්සීමේදී ලෝකයට අභියෝගයක් වූ සටන් කලාවක් මෙරට තුළ පැවති බව පෙනී යයි. ඒ අංගංපොර සටන් කලාවයි. අතීතයේදී සශ්‍රීකව පැවති මේ සටන් කලාව විදෙස් ආක්‍රමික බලපෑම් නිසා අද වන විට පවුල් කිහිපයකට පමණක් සීමා වී තිබෙන බවක් දක්නට ලැබේ. කෙසේ වෙතත් අදටද මේ සටන් කලාව රැකගෙන පවත්වාගෙන යනු ලබන සීතාවක කොරතොට ආරච්චි පරම්පරාවේ අජන්ත මහතිල ආරච්චිගෙන් අපි මේ සටන් කලාවේ ඉතිහාසය, වර්ධනය හා වර්තමානය ගැන විමසීමක් කළෙමු. 

 

ඉතිහාසය

 

ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් සහිත සටන් ශාස්ත්‍රය ලෙස අංගං ශාස්ත්‍රය හැඳින්විය හැකියි. අංගං ශාස්තය පිළිබඳව ලිථිත ඉතිහාසය දේශීය ග්‍රන්ථවලට අනුව අවුරුදු 33000 ක පමණ වනු ලබයි. මේ සම්බන්ධව ලියැවුණු ග්‍රන්ථයක් වන ‘වර්ග පුර්ණිකා‘ නම් ගෝස්තර පොතෙහි අංගං ශාස්ත්‍රය පිළිබඳ ඉතිහාසය අවුරුදු 33000කට එපිටක සිද වූ බව සඳහන් කොට තිබේ. 

 

මේ කෘතියට අනුව අංගං ශාස්ත්‍රය නිර්මාණය කිරීමේ ගරුත්වය හිමිවනු ලබන්නේ අතීතයේ මෙරට විසූ යක්ෂ හෙවත් යක්ක ගෝත්‍රය හටය. යක්ෂ ගෝත්‍රය එකල මෙරට පාලන තන්ත්‍රය මෙහෙයවූ අතරම ආරක්ෂක සංවිධාන කාර්යයද සිදු කර ඇත. මේ අනුව යක්ෂ ගෝත්‍රික ඍෂිවරුන්ගේ දැනුම් සංගලනයන් ලෙස අංගං ශාස්ත්‍රය මේ හෙලයේ බිහිව තිබෙන බව පැවසේ. 

 

‘අංගංපොර‘ නම බිහිවීම

 

අතීතයේ මෙම සටන් ශාස්ත්‍රය හැඳින්වූයේ අංගංපොර නමින් නොවේ. මෙහිදී විවිධ යුග වලදී විවිධ නම් වලින් මෙහි සටන් ශාස්ත්‍රය හඳුන්වා තිබෙබ්. මෙකී නාමයන් වන්නේ ‘රක්ත පතිගාන හෙරල‘, ‘අංගාගත හෙරල‘ ආදියයි. අංගාගත හෙරල පසුකාලීනව අංගං පොර ලෙස ව්‍යවහාර කරන්නට කටයුතු කර තිබේ.

 

මෙලෙස ක්‍රමිකව ගලාගෙන ආ අංගංපොර සටන් ශාස්ත්‍රය මහා රාවන රජු යුගයේදී ඍෂිවරු නවදෙනෙකු විසින් තවදුරටත් දියුණු කොට තිබේ. මෙහිදී අංගංපොර සටන් ශාස්ත්‍රය සඳහා වෛද්‍ය දැනුම, මන්ත්‍ර ශාස්ත්‍ර දැනුම, කාල හෝරා දැනුම, සංගීතය වැනි අංශ ද අන්තර්ගත කොට රාවන රජුහට මෙම සටන් කලාව පිළිබඳව දැනුම ලබා දී තිබේ. මෙහිදී මෙකී සටන් ශාස්ත්‍රය, යක්ෂ හා රාක්ෂය ගෝත්‍ර අතර හුවමාරු වූ බව සඳහන් වේ.

 

රාවනා යුගය යනු මීට වසර 5000කට පෙර පැවති කාලවකවානුවක යැයි මේ වන විට පරීක්ෂණ වලින් පිළිගනු ලැබේ. මේ අනුව රාවනා රජු සමයෙන් පසුව සිටි රට පාලනය කරන හැම පාලකයෙකුම අංගංපොර උගත යුතුයි යනුවෙන් නියමයක් ඇතිකරගෙන තිබේ. මේ අනුව රටේ පාලකයා දක්ෂ සටන් ශිල්පියෙකු විය යුතුය යන තැන පිහිටා ඉහළ  කුලවතුන් හට මේ සටන් ශාස්ත්‍රය පුහුණු කළ යුතුය යන්න පාරම්පරිකව නියමයක් ඇති කර ගනු ලැබීය. රාවනගෙන් පසුව එන හැම රජ කෙනෙකුම සම්බන්ධව අංගංපොර සටන් ශාස්ත්‍රය භාවිත කළ බවට තොරතුරු පවති. උදාහරණයක් ලෙස දුටුගැමුණු රජු සමයේ සිටි දස මහා යෝධයන්ද අංගංපොර පිළිබඳව හසල දැනුමකින් යුක්තවූ බව පැවසෙයි. 

 

එසේම වලගම්බා රජු සිය සේනා සංවිධානයේදී අංගංපොර භාවිත කළ බවත්, මහා පරාක්‍රමබාහු සමයේදී අංගං සටන් මධ්‍යස්ථාන පවා පවත්වාගෙන ගිය බවත් සඳහන් වී තිබේ. 

 

මෙලෙස ගලාගෙන ආ අපගේ අංගංපොර සටන් ශාස්ත්‍රය වෙනස් මුහුණුවරක් ගත් යුගයක් ලෙස පෘතුගීසී ආක්‍රමණික සමය සඳහන් වේ. විශේෂයෙන් පෘතුගීසි තුවක්කු හා ඔවුන්ගේ සන්නාහ ඇඳුම් සමඟ මුහුණට මුහුණලා සටන් කරන්නට සිදු විය. එවකට සිටි දක්ෂතම අංගංපොර සටන් ශිල්පියා ලෙස හැඳින්වෙන්නේ ටිකිරි කුමාරයා හෙවත් සීතාවක රාජසිංහ රජු ය. මේ යුගයේදී අංගං සටන් ශාස්ත්‍රය ඒ පැවැති තත්ත්වයට මුහුණ දිය හැකි අයුරින් වෙනස් කරමින් දියුණු තාක්ෂණයක් එක්කරනු ලැබී ය. මෙහිදී පෘතුගීසි සන්නාහ ඇඳුම් කපාගෙන යන පරිදි පහරදීම, පෘතුගීසීන්ගේ දිගු කඩු සමඟ අප කෙටි කඩුවලින් සටන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අලුත් සටන් ක්‍රම රැසක් මේ යුගයේදී අංගං සඳහා එක්වනු ලැබීය.

 

සීතාවක රාජසිංහ රජු මුල්ලේරියා සටන ජයගනු ලබන්නේ අංගං සටන් ශාස්ත්‍රය උපයෝගී කරගෙන ය. මුල්ලේරියා සටනින් පසු බොහෝ අංගං ශිල්පීන්ට පෘතුගීසීන් විසින් මරණය උරුම කර දෙනු ලැබීය. කෙසේ වෙතත් සීතාවක යුගයේදී පළිහක්කාර සටන් පරම්පරාව සහ කොරතොට ආරච්චි සටන් පරම්පරා නමින් පරම්පරා කාණ්ඩ දෙකක් පැවති බව රාජාවලියේ සඳහන් වේ.

 

සීතිවක යුගයේදී බිඳවැටෙන අංගං සටන් සමූහය යළිත් නුවර යුගය් දෙවන රාජසිංහ රජුගේ මූලිකත්වයෙන් හා විමලධර්මසූරිය රජුගේ මූලිකත්වයෙන් ජීවය ලබමින් ආරම්භ විය. මෙහිදී සුදාලිය හා මාරලිය යනුවෙන් ගම් දෙකක් ම ශිල්පීන් වෙනුවෙන් ලබාදී තිබෙන බව සඳහන් වේ. මෙලෙස ඇරඹි ගම් දෙකේ සටන් පරම්පරා සුදලිය හා මරුවල්ලිය නමින් හඳුන්වනු ලැබේ. 

 

1815 දී උඩරට ඇතිකරන ගිවිසුම සමඟ මෙරට පාලනය ඉංග්‍රීසීන් වෙත හුවමාරු විය. මෙහිදී ගිවිසුම් ප්‍රකාරව වැඩකටයුතු සිදු නොවන නිසා සහ බෞද්ධයින්ට සිදුවන කෙනෙහිලිකම් හා දළදා වහන්සේට නිසි පුදසත්කාර නොවීම තුළ අංගං ශිල්පීන් එකතු වී 1818දී කැරැල්ලක් ඇති කරනු ලැබීය. මෙය ඌව වෙල්ලස්ස කැරැල්ලයි. මේ කැරැල්ලට මූලිකත්වය ගත්තේ කැප්පෙටිපොල, බූටෑවේ රාළ, කිවෙුලේගෙදර මොහොට්ටාල ආදී එකල සිටි දක්ෂම අංගං ශිල්පීන් වේ. මේ කැරැල්ල සම්බන්ධව අධ්‍යනය කරන ඉංග්‍රීසීන් අංගං ශාස්ත්‍රය ඔවුන්ට සටන්කාමී බවක් ඇති කරන්නට හේතු වී තිබෙන නිසා 1818 දී අංගං මුහන්දිරම් තනතුරු සහ අංගං මඩු තහනම් කරනු ලැබීය. එසේම1929 දී අංගං ශාස්ත්‍රය හා අබිං ඖෂධය භාවිතය නිවේදනයක් මගින් තහනම් කරනු ලැබීය.

 

මෙම ගැසට් පතුයට අනුව යමෙකු අංගං ශාස්ත්‍රය හදාරයි නම් හෝ යමෙකුට උගන්වන්නේ නම් ඔහු සිරභාරයට ගත යුතු බවත්, යමෙකු අංගං ශාස්ත්‍රය දන්නේ නම් ඔහුගේ දණහිසෙන් පහළට වෙඩි තැබිය යුතු බවද සඳහන් වේ.

 

මෙකී ව්‍යසනකාරී තත්ත්වය සමඟ අංගං ශාස්ත්‍රය නර්තනයක් ලෙස පවත්වාගෙන යන්නට එකල සිටි අංගං ශිල්පීන් කටයුතු කොට තිබේ. අදටත් අප දකින වැදි නැටුම්, කාටි නැටුම්, දිවි නැටුම් වැනි නර්තනාංග වල පවතින්නේ අංගං සටන් ශාස්ත්‍රයේ සටන් ක්‍රමයන් ය.

 

මේ තහනමත් සමඟ අංගං ශාස්ත්‍රය ප්‍රසිද්ධියේ සමාජය තුළ පවතිනු දක්නට නොලැබේ. එය රහසිගතව පමණක් පවත්වාගෙන යන ශාස්ත්‍රයක් බවට පත්විය. කෙසේ වෙතත් පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන යන එකක් බවට පත්විය. මෙලෙස රහසිගතව පැවති අංගං ශාස්ත්‍රයට 1990 දශකයේ රූපවාහිනියන් විකාශය වූ දඬුබස්නාමානය ටෙලිනාට්‍ය හරයා යම් පිබිදීමක් ඇති වනු ලැබී ය.

 

වර්තමාන තත්ත්වය

දඬුබස්නාමානයත් සමඟ සමාජය තුළ ප්‍රචලිත වූ අංගං හි පවතින මර්මස්ථාන වලට පහරදීල, කාල හෝරා බලා පහරදීමෙන් මරණයට පත්කිරීමට හැකිවීම වැනි කරුණු නිසා අංගං ගැන වැඩි දෙනෙකු තොරතුරු සොයා බලන්න උත්සාහ දරන ආකාරයක් දැකිය හැකියි. කෙසේ වෙතත් මේ හරහා ඇතිවූ අහිතකර ප්‍රතිඵලයක් වන්නේ අංගං යැයි පවසමින් වෙනත් සටන් ක්‍රම කරලියට පැමිණීමයි.

මේ වන විටත් අංගං ශිල්පීන් අතලොස්සක් සමාජයේ සිටයත් අංගං ශිල්පීන් නමින් ව්‍යාජව සිටින පිරිසක් විවිධ සටන්ක්‍රම අංගම්පොර ලෙස ප්‍රචලිත කරන්නට උත්සාහ දරමින් සිටී. අංගං ශාස්තය මෙරට තුළ රහසිගතව කියාත්මක වන සමයේදී දකුණු ඉන්දියාවෙන් ‘මලයාලම් ලෙස්සම්‘ නමින් සටන්ක්‍රමයක් පැමිණේ. එසේම චීන වෙළඳුන්ගෙන් ‘චයිනීස් කෙම්පෝ‘ නමින් සටන් කලාවක්ද මෙරටට පැමිණෙයි. පසුකලකදී මෙම කලාව චීනඩි නමින් ලංකාවේ ප්‍රචලිත වේ. බොහෝ අය මෙකී චීන අඩි සටන් කලාව අංගං නමින් හඳුන්වන්නට උත්සාහදරන අතර, එය කිසිසේත් නිවැරදි නොවේ.

තවත් සමහරු ඉන්දියාවේ පවතින ‘කලරි‘ සටන් කලාවද අංගං ශාස්ත්‍රය ලෙස හඳුන්වන ලබයි. එයද වැරදි සහගත හැඳින්වීමකි. මී අමතරව මලයාලම් සටන් කලාවද ‘අංගං‘ නමින් සමහරු ඉදිරිපත් කරන්නට උත්සාහ දරති.

නිවැරදි අංගං හාස්ත්‍රය හඳුනාගත හැකි නිර්ණායක කිහිපයක් පවතී.

  1. නිවැරදි අංගං ශාස්ත්‍රය අපට කිසිඳු රටකින් හඳුන්වා දුන් එකක් නොවේ. එය මෙරට යක්ෂ ගෝත්‍රිකයන් නිර්මාණය කළ ස්වදේශිය සටන් කලාවකි. එය වෙනත් රටවල කිසිඳු සටන් කලාවකට සමාන නොවේ.
  2. අංගං සටන් ශාස්ත්‍රය සිංහල බෞද්ධයින්ගෙන් පිටස්තරව ඉගැන්විය නොහැක යනුවෙන් නියමයක් පැවතුණි. ඒ නිසා මෙය වෙනත් ජාතිකයන් අතට පත්වන්නේ නැත.අංගං ශාස්ත්‍රයට අනන්‍ය වූ චාරීත්‍ර වාරීත්‍ර රැසක් පවතී
  3. දේශීය සංස්කෘතියට අනන්‍යවූ ඇඳුම් පැළඳුම් අංගං සඳහා යොදා ගනී
  4. අතීතයේ අංගං ශිල්පීන් සේවය කළේ රජුට ය. ඒ නිසා කිසියම් රජවරයකුගෙන් ලැබුණු වරප්‍රසාද හා තම සටන් පරම්පරාවේ අනන්‍යතාව ඓතිහාසික සාධක මත ඔප්පු කළ හැකි විය යුතු ය.

 


ඌරා ළිඳ

අංගං සටන් ශිල්පීන්ගේ දක්ෂතා උරගා බලන හෝ අංගං සටන් ඉගෙන ගන්නා ශිල්පීන් සටන් පුහුණු වන ස්ථාන ඌරා ළිඳ ලෙස හැඳින්වේ. මෙම ළිඳ සැකසී තිබෙන්නේ වල් ඌරන් ජලය බීමට යන ගල්වලින් සැකසුණු ළිඳක ආකාරයෙනි. මෙම ළිඳට වතුර බීමට යන ඌරන් එහි තිබෙන බෑවුම් ස්වාභාවය නිසා ලිස්සා ගොස් නැවත එන්නට බැරි ලෙස ජලයේ ගිලෙයි. එවැනි ස්වාභාවයකට මෙම ළිඳ සකසා තිබේ. මේ අනුව අඩි දහයක් උස අඩි පහළොවක් විශ්කම්භයක් සහිත පතුළ මඩකර තිබෙන මෙම ඌරා ළිඳෙහි සටන පෑ තැටියෙන් පැයක කාලයක් පුරා දිව යයි. ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි.

  1. අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීම
  2. මරණය තෙක් සටන් කිරීම
  3. පැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීම
  4. පරාජය භාර ගන්නා තෙක් සටන් කිරීම


යනාදී ලෙසයි. මෙහිදී දෙදෙනා එකඟ වන ඕනෑම ආකාරයකට සටන් කිරීම සිදු ව්.

එසේම අංගං මඩුවක ගුරුවරයා හෙවත් පනික්කිරාළ තෝරා ගැනීම සඳහාද ඌරා ළිඳේ සටන් යොදා ගනු ලබයි. මී අමතරව අතීතියේ රජුන්ගේ අංගාරක්ෂකයන් (පුද්ගලික ආරක්ෂකයා) තෝරා ගන්නා ල්ද්දේද ඌරා ළිඳේ අංගං කෙටීමෙනි.

කුණ්ඩලීනී යෝගය

කුණ්ඩලීනී ශක්තිය මිනිසාගේ යටි බඩ හා කොඳු නාරටිය ආශ්‍රිතව එකතු වී තිබෙන ශක්තියකි. නාගයෙකු දරණ ගසාගෙන සිටින ආකාරයට එය පිහිටා තිබෙන නිසා මීට කුණ්ඩලීනී යන නම යෙදී තිබේ.

අංගං ශාස්ත්‍රෙය් තිබෙන විශේෂ භාවනා අභ්‍යාස හා යෝග අභ්‍යාස ගණනක නිරත වීමෙන් ඕනෑම අංගං ශිල්පියෙකුට තම කුණ්ඩලීනී ශක්තිය වැඩි දියුණු කර ගත හැකි ය. කුණ්ඩලීනී යෝගයේ ශක්ති මට්ටම් හතක් පවතී. මේ සියලු මට්ටම් ඉගෙන ගත් අයෙකුට තම මානසික ශක්තිය සටන් සඳහා භාවිත කළ හැකිය. එසේම මනසින් යම් යම් විස්මිත ක්‍රියාකාරකම් සිදු කිරීමට ද යොදාගත හැකි ය. අතීතයේදී එක හා සමාන සටන් ශිල්පීන් සටන් කරන විට වැඩි දක්ෂතා පෙන්වීමට මෙකී මානසික ශක්තිය යොදාගනු ලැබීය. මෙහිදී තම ශාරීරික ශක්තිය විශ්ව ශක්තිය සමඟ මුසු කරනු ලැබේ. කුණ්ඩලීනී යෝගය හරහා අතීතය හා අනාගතය පිළිබඳ දැකීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.

ඉගැන්වීම

- අංගං ශාස්තය ඉගැන්වීමට පෙර දේහ ලක්ෂණ, හඳහන, නැකත් බලා පමණක් මය උගන්වනු ලැබ්. එහිදී ලෙයින් දිවුරුමක් දී තිබේ.

මෙවැනි සටන් ශාස්ත්‍රයක් හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පවත්වන්නාක් මෙන් පැවැත්විය නොහැකි ය. එසේ පවත්වන්නේ අංගං ශාස්ත්‍රය ද විය නොහැකි ය. හොඳ දේ බාල නොවේ. ව්‍යාජත්වයන් බහුලව තිබේ.

අංගං සටන්

අංගං සටන් ශාස්ත්‍රය ප්‍රධාන කොටස් 3කට බෙදේ.

1. අංගං
මෙය ආයුධ රහිතව අතපය පමණක් භාවිත කර සිදු කරන සටන් ක්‍රමයකි. මෙහිදී අතපය භාවිත කර ගැට යොදා ප්‍රතිවාදියා මරාදැමීමට හැකියාව තිබේ.

එසේම මීට අදාලව ශරීරයේ මර්මස්ථානවලට පහර දී අඩපණ කිරීම උදෙසා ‘මරැ නිල‘ නම් කොටසක්ද උගන්වනු ලැබේ.

පැනුම්, පිනුම් කොටස්ද මීටම අයත් තවත් අංගයකි. අංගං ශාස්ත්‍රයට අදාලව පිනුම් විස්සක් තිබේ.

2. ඉලංගං

අවි ආයුධ සතිතව සටන් කිරීම මෙමගින් අදහස් කෙරේ. යුද්ධයේදී භාවිත කළේ මෙම කොටසයි. මෙම කොටස් උගන්වන ස්ථානය ඉලංගම් මඩු ලෙස හඳුන්වනු ලබයි. ඌරා ළිඳේ සටන් ක්‍රමද මීටම අයත් වන්නකි.

3. මායා අංගං
මන්ත්‍ර ශාස්තය සමග සටන් කිරීම මෙමගින් අදහස් කෙරේ. මෙහිදී අංගං, කාලම්, පිල්ලි යනුවෙන් කොටස් තුනක් දක්නට ලැබේ. මීට අමතරව අංගං සටන් ශිල්පියෙකු අනිවාර්යෙන්ම ඉගෙන ගත යුතු කරුණු දෙකක් ලෙස රණබෙර වාදනය හා වෛද්‍ය ශාස්ත්‍රය දැක්වේ.

එසේම හැම අංගං සටන් ශිල්පියෙකුම කුණ්ඩලීනි යෝගය දක්වා භාවනා හරහා තම ශාරීරික හා මානසික ශක්තිය දියුණු කළ යුතු ය.

 

දක්ෂ අංගං ශිල්පීන්

 

නුවර යුගයේ දිටි දක්ෂතම අංගං ශිල්පීන් ලෙස ලෙව්කේ දිසාව, රත්වත්ත දිසාව, මීගස්තැන්නේ අදිකාරම්, ගලබොඩ දිසාව හැඳින්විය හැකි ය. එසේම ගලබොඩ කුමාරිහාමි එලෙසින් දක්ෂ සටන් ශිල්පිනියකි. සීතාවක යුගයේ සිටි දක්ෂතම කඩු සටන් ශිල්පියා ලෙස නවරත්න මැණිකේ හැඳින්විය හැකි ය. සීතාවක යුගයේ දක්ෂම අංගං ශිල්පීන් ලෙස සීතාවක රාජසිංහ රජු හා කොරතොට කුරුප්පුආරච්චි ආදීන් දැක්විය හැකි ය.

--------------------------------

Published on: 2012-09-03