English
ඉලංගම් මඩුවේ අංගම් හරඹ...

1562 දී පෘතුගීසීන් එරෙහිව මුල්ලේරියාවේදී සිදුවූ ඒ දැවැන්ත ප්‍රහාරයට වගකිව යුතු පාර්ශවය සොයා ඔවුන්ගේන් සාක්ෂි විමසීම අපේ පරමාර්ථය නොවීය. හුදෙක් ඔවුන් වෙනුවෙන්, ඔවුන් රට දැය සමය වෙනුවෙන් ඉටුකළ ඒ උදාර මෙහෙවර වෙනුවෙන් ඒ රණකාමීන් උත්තමාචාරය පුද කිරීම අපේ ඒකායන පරමාර්ථය විය. අප පැමිණෙමින් සිටියේ කඩුවෙල, කොරතොට සමීපයේ සුන්දර වෙල්යායකින් වටවූ භූමි භාගයක් වෙතයි. එදින පැවති වැහිබර කාලගුණය නිසා කුඹුරු ජලයෙන් යටවී තිබුණද එය අපේ ගමනට බාධාවක් නොවීය. අප්‍රතිහත ධෛර්යයකින් යුතු ඒ තරුණයින්ගේ තේජවන්ත මුහුණු දෙස බලමින් මෙවැනි සුධු දුෂ්කරතාවයක් සිතින් බැහැර කිරීම එතරම් අපහසු කාර්යයක් නොවීය. වෙල්යාය පසුකර පැමිණි අපට මනාවට සකස් කළ තණ පිටයක් දැකගත හැකි විණි. එය වෙල්යායට මැදිවූ ඕවිටක් වැනිය. එම ඕවිට වඩා ගලාගිය දිය කඩිත්තනේ එතර වීමට කුඩා ලී පාලමක් යොදා තිබුණි. ඉපැරණි හෙළ ශිෂ්ඨාචාරයක වර්තමාන පරපුරේ පුනර්ජීවයක් වෙත අප ළඟාවෙමින් සිටියේය. ලී පාලමෙන් එගොඩ වුණු අපට දැක ගන්නට ලැබුණේ පොල් අතු සෙවිලි කළ ගෘහයකි. එහි ඉදිරිනේ වූ ආලින්දයෙන් එලියට පිවිසි කඩවසම් තරුණයෙකි. කොණ්ඩය තරමක් දිගට වවා තිබුණු ඔහු උසට සරිලන මහතකින් යුතු තේජවන්තයෙකු විය. සරමකින් සහ කමිසයකින් සැරසී සිටි මේ තරුණයි රාවන පරපුරේ ඉපැරණි හෙළ වීරවරයන් පිළිබඳ මතකය නැවත අලුත් කළේය. අප ගෘහය වෙත ළග වෙද්දී සිය දෑත් එකතු කළ ඔහු ‘ආයුබෝවන්‘ කියමින් අප මහත් භක්ති ආදරයෙන් පිළිගත්තේ ය. ඔහුගේ අවසරයෙන් ආලින්දයට ඇතුළු වුණු අප එහි වූ පුටුවක් මත ඈඳී ගත්තේ ය.

වෙල්ලක්කාර සටන් පරපුරේ (කොරතොටආරච්චි සටන් පරපුර, එය දකුණු ඉන්දියානු කුලී හමුදාවක් වන වේලයික්කරයන් නොවන බව පැවසිය යුතුය) මහන්තආරච්චි පරම්පරාවෙන් පැවත එන මහන්තආරච්චිගේ අජන්ත පෙරේරා වන මොහු හෙළ අංගම් ශිල්පයේ පරතෙරට ගිය ශිල්පියෙකි.අජන්ත තුළින් දිස්වූයේ ගාම්භීර ලීලාවකි. අප ඔහුගේ අවසරයෙන් ඇතුළු වී තිබුණේ හෙළ වාස්තුවිද්‍යාෙව් මහිමයෙන් ශ්‍රී ලංකාවේ මෑතකාලීනව ඉදිකරන ලද එකම ඉලංගම් මඩුව වෙතයි. අපේ කතාබහට පූර්විකාවක් සපයමින් ඉලංගම් යන්න අජන්ත පැහැදිලි කළේ ය.


“අපේ තිබුණා හතර ඉලංගම කියලා දෙයක්. කවිකාර ඉලංගම, වාහල ඉලංගම, නැටුම් ඉලංගම, හරඹ ඉලංගම මේ හතරට ඇතුළත්. කවිකාර ඉලංගමේදී රජතුමාට ප්‍රශස්ති ගායනා ඉදිරිපත් කිරීමක් සිදුවෙනවා. වාහල ඉලංගමේදී කුමාර සෙල්ලම් කියලා රාජ කුමාරවරුන්ට අවශ්‍ය යුද පුහුණුව ලබා දෙනවා. නැටුම් ඉලංගමේදී සිදුවුණේ නැටුම් සහ ් ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුකිරීමයි. මෙහිදී හරඹ ඉලංගමේදී අංගම් ශාස්ත්‍රය, සංහල මල්ලවපොර හෙවත් ගුස්ති ශාස්ත්‍රය, ඉලංගම් ශාස්ත්‍රය, පැනුම් පිනුම් ශාස්ත්‍රය ආදී වූ යුද්ධයකට අවශ්‍ය සියලු ශිල්පයන් උගන්වනු ලැබුවා. අද ඔබ පැමිණ තිබෙන්නේ හරඹ ඉලංගම පුරුදු පුහුණු කෙරෙන ඉලංගම් මඩුවක් වෙතයි“ ඔහු කියා සිටියේ ය.


පූර්විකාව අවසානයේ අංගම් ශිල්පය හා බැඳුණු අජන්තගේ ජීවන තොරතුරු සහ අංගම් ශිල්පය ආශ්‍රිත ඔහුගේ පරම්පරාවේ ඉතිහාස කතාව අප විමසා සිටියේ ය.


“1562 මුල්ලේරියා සටන ඇතිවෙන කොට ලංකාවේ පාලනය කටයුතු සිදුකළේ සීතාවක රාජසිංහ රජතුමා (ටිකිරි කුමාරයා හෝ පළමුවන රාජසිංහ රජතුමා). සීතාවක රාජසිංහ රජතුමාගේ සේනාධිපතියා ලෙස සැලකුණ වික්‍රමසිංහ මුදලිතුමා මේ සටනේදී තුවාල වෙලා තියෙනවා. ඒ වෙලාවේදි අසරණ වුණු රජතුමා සටනට අවශ්‍ය උදව් බලාපොරොත්තුවෙන් පැමිණෙන්නේ අපේ කොරතොට රාජමහා විහාරයටයි. ඒ කාලය වෙද්දී කොරතොට විහාරය ආශ්‍රය කරගෙන අපේ සටන් පරපුරේ ආරච්චිවරුන් 18 දෙනෙකු වලව් කේන්ද්‍රකරගෙන ජීවත්වුණා. ඒ අයගෙන් බොහෝ දෙනෙකු අංගම් ශිල්පයෙන් පරතෙරට ගිය අය. මදුරප්පපෙරුම ආරච්චි, කුරුප්පු ආරච්චි, පලිහේන ආරච්චි, මහන්තආරච්චි කියන ඒ වලව් කිහිපයක් තවමත් ශේෂව පවතිනවා. අපේ පරම්පරාව සැලකුණේ මහන්ත ආරච්චි පරම්පරාව හැටියටයි. මහන්ත කිව්වේ ප්‍රධානියා කියන අර්ථයෙන් යුද්ධයට අවශ්‍ය අංගම් සටන් පුරුදු පුහුණු කිරීම පැවරුණේ අපේ පරම්පරාවේ අයටයි. කොරතොට පන්සල ආසන්නේයේ තිබුණු තැනිතලා භූමියක අංගම් මඩු තුනක් පිහිටුවලා තිබුණා. කඩුවෙල, රක්ගහවත්ත, හෝකන්දර, අතුරුගිරිය, හංවැල්ල (එවකට ගුරුබැවිල), රණාල, දැඩිගමුව කියන ප්‍රෙද්ශ වලින් ජවසම්පන්න තරුණයේ ගෙන්වලා ඔවුනට අංගම් පුහුණුව ලබාදීලා තියෙනවා. මෙහිදී කඩු පලිහ සටනේ උසස් පුහුණුවක් ලබාදීලා තියෙනවා. ඒ වගේම පෘතුගීසි හමුදාවට උදව් කළ අපේ සිංහල හමුදාවනුත් හිටියා. ඔවුන් සිංහලයන්ට විරුද්ධවම පැමිණියේ ඇතුන් පිට නැගිලයි. ඒ ඇත් හමුදාවට ගහන්න උගන්වපු මුලේගම කියලා දක්ෂ රණශූරයෙක් මේ පළාතේ ජීවත් වෙලා තියෙනවා. මේ සඳහා අංගම් ශිල්පයේ පරතෙරට ගිය 18 දෙනෙකු යොදාගෙන තිබුණා. ඔවුන්ගෙන් එක් අයෙකු දුවලා ගිහිං අලියා ඉස්සරහා දණ තියලා පහත් වුණාම පස්සෙන් දුවගෙන එන කෙනා ඔහුගේ පිටට අඩිත තියලා උඩ පනින ගමන් අලියගේ කුම්ඹස්තලයට (මර්මස්ථානයකට) වැලමිටෙන් පහර දෙනවා. මේ ප්‍රහාරයෙන් අලියා එතනම මැරී වැටෙන බවයි. ඉතිහාස කතාවේ කියවෙන්නේ. ඒ සියලු රණශූරයින්ගේ දස්කම් නිසා තමයි යුරෝපීය ජාතියක් පෙරදිග රටක ලබපු දරුණුතම පරාජය මුල්ලේරියා වෙල ආශ්‍රිතව ලැබුවේ.“ අජන්ත සිය පරපුරේ වීරවික්‍රමාන්විතයන් විස්තර කරන්නට විය.


“මේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත් සීතාවක රාජසිංහ රජතුමා යුද්ධයට සම්බන්ධ වුණු පිරිස් වෙනුවෙන් නොයෙකුත් තාන්නමාන්න, ගම්වර ලබාදුන් බව පැවසෙනවා. හේවාගම් කෝරළය කියලා නම් කරලා මේ ප්‍රෙද්ශය අපට ලබාදී තිබුණා. ඉරයි හඳයි කොටපු ගල් කණු හිටවලා තමයි මේ ගම්වරයේ සීමා පණවලා තියෙන්නේ. අදත් ඒ ගල් කණු කිහිපයක් දැකගන්න පුළුවන්. මේක මහන්තආරච්චි කිය අපේ පරම්පරාවට විතරක් ලැබුණු දෙයක් නෙමෙයි. සටනට සහභාගී වුණු මේ ප්‍රෙද්ශයේ ජීවත් වුණු හැම දෙනාටම ලැබුණු ගම්වරයක්. සමහට අයට සුරවීර, හේවාවසම්, ලිහිණිකඩුව කියන නම්බු නාම පවා ලැබී තිබුණා“


“අපි ජීවත් වන ප්‍රෙද්ශයේ පිහිටි කොරතොට රාජමහා විහාරය තමයි මේ හැමදෙයකටම මූලික වෙලා තියෙන්නනේ. අපේ අංගම් සටනේ තිඹිරි ගෙය කොරතොට පන්සල කියලා අපි හිතනවා. කොරතොට පන්සල ආශ්‍රිතව ඇති ඇතැම් සෙල්ලිපි නිසා මේ ශිල්පයේ ආධිකර්තෘවරයා රාවණ රජතුමා හැටියටත් අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඇතැම් කරුණු ලිඛිතව සනාථ කරන්න බැරිවුණත් අංගම් ශිල්පයේ සහ රාවන රජු සමයේ සබඳතාවයක් පැවති බව විශ්වාස කළ හැකියි.“ අජන්තගේ වචන වල වේගවත් බවක් වීයි.


“කොහොම නමුත් රාජසිංහ රජතුමාගේ මරණින් පස්සේ පෘතුගීසීන් අපේ අදවියට නොයෙකුත් අඩම්තේට්ටම් කර තිබෙනවා. මේ වෙද්දී තමයි අපේ නමට පෙරේරා කියන කොටස ආරූඪ කරගන්නේ. ඒක පෘතුගීසි නමක්. ඔවුන්ට පක්ෂපාතීත්වය පෙන්වමින් අපේ සටන් ශිල්පය ඉදිරියට ආරක්ෂා කර ගැනීම සඳහා මුතුන් මිත්තන් මේ ප්‍රෙයා්ග භාවිත කොට තිබෙනවා. ලන්දේසීන් ලංකාව පාලනය කළ කාලයේ අපේ පරම්පරාවේ ඉහළින්ම කියවුණු අංගම් ශිල්පියෙක් හැටියට බණ්ඩාර නෙනෙවියා නම් කරන්න පුළුවන්. ඔහු 150ක් පමණ වූ ඕලන්ද හමුදාවක් සමඟ සටන් වැද ඔවුන් සමූල ඝාතනය කළ බව ඉතිහිහාසයේ සඳහන් වෙනවා. නමුත් සෙනරත් රජතුමාට නොදන්වා මෙවැනි දෙයක් කිරීම සම්බන්ධයෙන් රජතුමා විසින් පසුව මොහු මරාදමා තිබෙනවා. ඉංග්‍රීසි රට පාලනය කරන කාලයේදීත් ඔවුන්ට විරුද්ධ සටනේ අපේ පරම්පරාව පෙරමුණ ගෙන සිටියා. එකල අතිශූර රණකාමියෙකු වූ ලෙව්කේ දිසාවේ හංවැල්ල බලකොටුවට පහර දෙන්න පැමිණි අවස්ථාවේ ඔහුගේ උදව්වට පැමිණියේ අපේ අංගම් සටන්කරුවනුයි. ඒ හිතවත්කම නිසා ඔහු මියයාමට පෙර ඔහුට අයත් පුස්කොල පොතක් අපේ පරම්පරාවේ කෙනෙකුට ලබාදී තිබුණා. අංගම් ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්තය සහිත ඒ පොත අදද ආරක්ෂිතව අප සතුව තිබෙනවා. උඩරට අංගම් ශිල්පය තහනම් කෙරුණු කාලයේදී අපටත් ඒ නීතිය බලපැවැත්වූවා. නමුත් අංගම් ශිල්පීන් ඒ නීති වලට අනුගත නොවී හොර රහසේ සටන් පුරුදු පුහුණු වී තිබුණා. මේ ශිල්පයේ තියෙන රහස්‍ය භාවය නිසා ගොඩක් වෙලාවට පිටස්තරයටන් දැන ගන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ.“ ඉතිහාසය කතාවේ රසමුසු තැන් දිගහැරෙන්නට විය.


“1915 කියන්නේ අපේ බුද්ධාගමට නොයෙකුත් නෙහෙිලිකම් ඇතිවූ කාලයක්. මේ කාලයේදී තමයි මාෂල් ලෝ (යුධ නීතිය) පැනවෙන්නේ. එවකට පැවති මුස්ලිම් කෝලාහලය අවස්ථාවේ පෙරමුණ ගෙන කටයුතු කර තිබෙුණේ කොරතොට රාජමහා විහාරයේ වැඩසිටි කොරතොට සෝභිත මාහිමිපාණන්. උන්වහන්සේ අති දක්ෂ අංගම් ශිල්පියෙකු ලෙස සැලකුණා. අපේ සීයා උන්වහන්සේව මතක් කරන්නේ ඉමහත් ගෞරවයෙන්. සීයාටත් අංගම් ශිල්පයේ යම් යම් කොටස් කියාදුන් ගුරුහාමුදුරු නමක්. අංගම් ශිල්පයට මෝලගහෙන් පහර දීමේ කලාව එකතු කළේ උන්වහන්සේ. මෝල් ගහේ බෞද්ධ කොඩිය එල්ලාගෙන පෙරහැරේ ගොස් සටන් කිරීමේ ක්‍රමයන් අංගම් ශිල්පීන්ට උගන්වනු ලැබුවා. සෝභිත හාමුදුරුවන්ගේ හොඳම ගෝලයෙක් හැටියට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ද මතක් කරන්න ඔනේ. රට දැය වෙනුවෙන් මහත් සේවයක් කළ උන්වහන්සේ එම කටයුතු වලදී අංගම් ශිල්පයේ ඇතැම් කොටස් උපයෝගී කොටගෙන තිබුණා. පසුකාලීනව මේ සටනට සම්බන්ධ වුණු බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්ව සිරකොට තිබුණා. මෑත කාලීන ඉතිහාසයේ මේ පළාතෙන් අංගම් ශිල්පය යම් දුරකට ප්‍රගුණ කළ අයෙක් ලෙස ඉතිරි වුණේ අපේ සීයා විතරයි. එතුමා මහන්තආරච්චිගේ රිචඩි පෙරේරා. අපේ මුත්තා මහන්ත ආරච්චිගේ කරෝලිස් අප්පුහාමි. දෙදෙනාම හොඳ අංගම් ශිල්පීන්.“ තමා අංගම් ශාස්ත්‍රය අවතීරණය වන යුගය දක්වා අජන්ත සැකෙවින් විසරත් කළේ ය.


“අපේ තාත්තා නෝබට් පෙරේරා. තාත්තා ඉලංගම් සටනේ එතරම් පරතෙරට ගිහිල්ලා නැහැ. අපේ සීයාගේ මූලිකත්වයෙන් මගේ හඳහන බලලා, පූජාව තියලා අංගම් ශිල්පය ප්‍රගුණ කරන්න අරගෙන තියෙන්නේ අවුරුදු හයේදී. මට අවරුදු 13ක් 14ක් වෙද්දී සීයා නැතිවුණා. ඒ වෙනකොටත් මම ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වුණු බව කියැවෙන අංගම් ශිල්පයේ චාරීත්‍ර වාරීත්‍ර වල අවසානය දක්වාම ගිහිල්ලයි හිටියේ. එහිදී ඇතැම් දේවල් මට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බැහැ. ඒක මම සටන් ශිල්පය ප්‍රගුණ කිරීමේදී ලබා දුන් දිවුරුම් දීමට පටහැනි වීමක්. මම බොහෝම දුක්මහන්සියෙන් තමයි ශිල්පය හැදෑරුවේ. ඒ කාලේ බොහෝම කටුක අත්දැකීම් වලට මුහුණ දුන්නා. ගෙදර ගහේ පොල් කැඩුවාම මාව එතන වාඩි කරලා අතින්ම පොල් සේරම ලෙලි ගහන්න කියනවා. කුඹුරු වැඩ කරන කාලයට කුඹුරු මඩ කරන්න මී ගවයන් යොදා ගන්නේ නැහැ. පොල්කොට කරේ තියාගෙන මී ගවයන්ගේ කාර්යය කරන්නෙත් අපිමයි. හුළං කරපු වී ගෝනිය කරේ තියාගෙන ගෙදරටම දුවන්න කියනවා. මගේ අත්දැකීමේ හැටියට කුඹුරු වැඩ කියන්නේ හොඳ ව්‍යායාමයක්. බෙහෙත් ගැන දැනගන්න, කැලෑවට ගිහිං බෙහෙත් ජාති හොයාගෙන එන්න අපිට සිදුවුණා. එහෙම කැපකිරීම් නැතිව මේ ශිල්පය පිහිටන්නේ නැහැ. ඉගෙන ගන්නත් බැහැ. මම දන්න විදියට ශිල්පියෙක් අවුරුදු 5ක් විතර එක දිගට ඉගෙන ගන්න කොට ශිල්පයට අදාල අඩව් 21 අවසන් වෙනවා. පසුව තමන් ඉගෙන ගත් දේවල් ප්‍රගුණ කිරීම ඔවුන්ට කරන්න පුළුවන්. මටත් කියන්න පුළුවන් මම තවම ඉගෙන ගන්නවා කියලා. මට දැන් කවුරුත් උගන්වන්නේ නැහැ. මම කරන්නේ ඉගෙන ගත් දේ ප්‍රගුණ කිරීම පමණයි. අංගම් ශිල්පය, වසර 500ක් පැරණි පුස්කොල පොත්, අවි ආයුධ මෙන්ම එදා සීයා මා තුළ ගොඩනගපු ආත්ම විශ්වාසය සීයාගෙන් මට ලැබුණු දායාදයන් හැටියටයි මම සලකන්නේ. මගේ මව් පාර්ශවයේ උක්කුබණ්ඩා ගුරුන්නාන්සේ ඇසුරින් මට මරුවල්ලියේ සටන් ශිල්ප සම්බන්ධවත් යම් පුහුණුවක් ලැබුණා. “ අජන්ත සිය අත්දැකීම් විස්තර කරන්නට විය.


“අංගම්, ඉලංගම්, මායා අංගම්“ වෙදකම, නිල වෙදකම, නක්ෂත්‍රය ආදී කොටස් නියම අංගම් ශිල්පයක අන්තර්ග වෙනවා. මට දැනෙන ආකාරයට මරුවල්ලිය, සුදලිය, වංශක්කාර, වේලක්කාර, පලිහක්කාර ආදී වශයෙන් කිව්වාට මේ සෑම ගුරුකුලයකම අංගම් ශිල්පයේ වෙනසක් දකින්න බැහැ. ඒ ඒ ගුරුවරයාගේ ස්වාභාවයන් අනුව පවති වෙනස්කම් විතරයි දැකගන්න ලැබෙන්නේ. ඇතැම් ගුරුකුලවල හැඩහුරුකම් සහ ඇඳුම් පැළදුම් වල වෙනස්කම් දැකීමට පුළුවන්. දියකච්චිය, මල්වාටිය, වගේම වවුල් අමුඩය විතරක් ඇඳගෙන සටන් කරන අයත් ඉන්නවා. මේ සේරම අපේ ඇඳුම්නේ. හැබැයි මේ මොනදේ කළත් අපි උඩුකය නිර්වස්ත්‍රව සිටිය යුතුයි. අපි ජීවත් වන්නේ උෂ්ණාධික රටක. අපි අපේ රටේ හැටියට සැරසී සිටිය යුතුයි. කොහොම නමුත් වැරද ිවැටහීමක් තියෙන්න පුළුවන් අංගම් ශිල්පය විවිධයි කියලා. සුළු සුළු වෙනස්කම් කිහිපයක් ඇරෙන්නඅවසානයේ අංගම් ශිල්පය එකයි.“ දුර්මතයන් සම්බන්ධයෙන් අජන්ත තම අදහස් ඉදිරිපත් කළේ ය.


“අංගම් මොහන්දිරම් කිව්වේ අංගම් ශිල්පයේ ඉහළම තනතුර. මේක රජතුමා විසින් ලබාදුන් තානාන්තරයක්. ඉලංගම් මඩු ආශ්‍රිතව අංගම් ශිල්පය උගන්වපු සියලු පනික්කිරාළලා භාරව සිටියේ මේ අංගම් මොහන්දිරම් කියන තැනැත්තායි. අංගම් ශිල්පය තහනම් වීමට කලින් ඇතැම් ගුරුකුල වල පනික්කිරාළවරු දහයක් පමණ සිටිබව පැවසෙනවා. අංගම් ගුරුකුලයක ප්‍රධානියා පනික්කිරාළ කියලා වැරදි වැටහීමක් තියෙනවා. ප්‍රධානියා වන්නේ අංගම් මොහන්දිරම්. කොහොම නමුත් පසුකාලීනව දසුදලිය, මරුවල්ලිය ආදී පරම්පරා වලට වෙන වෙනම මොහන්දිරම්වරු පත්වෙනවා. පනික්කිරාළ කියන චරිතය හරඹාචාර්ය කියලා හඳුන්වන්නත් පුළුවන්. මේක උපදේශක තනතුරක්ග“ අංගම් සටනේ ප්‍රධානීන් ගැන අජන්ත විස්තර කළේ ය.


“අපි මේ වාඩිවෙලා ඉන්නේ හෙළ වාස්ත්‍ර විද්‍යානුකූලව, පැරණි සැලැස්මට ඉදිකළ ලංගකාවේ තියෙන එකම ඉලංගම් මඩුව තුළයි. මෙය හෙවිලි කිරීම, බිම සැකසීම, බිත්ති බැඳීම, කණු සිටුවීම මේ සෑම දෙයක්ම නියමිත අමුදුව්‍ය යොදාගෙන නැකැත් චාරීත්‍ර අනුව සිදුකළ යුතුයි. ඒ වගේම ඉඩමේ අටකොන සිටුවන ගස් පවා සඳහන් වෙලා තියෙනවා. ඒ ගස් වලින් තමයි අපට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. මේ ඉලංගම් මඩුව ආශ්‍රිතව ඌරා ළිඳ, ගුස්ති පිටිය, පිනුම් පිටිය, දුනු පිටිය, දුවුරුම් පිටියි, දැකුම් පිටිය ආදී අංගම් පිටියක දැකගත හැකි සියලු අංග ඇතුළත් වෙනවා. ඌරන් වතුර බඉීමට පැහැපු ගල්ලින් සෑදුණු ස්වාභාවික වලක් ආශ්‍රෙයන් තමයි ඌරා ළිඳ ඇතිවී තිබෙන්නේ. ඌරෙක් වතුර බොන්න මේ වළකට බැස්සාම ගලදිගේ නැවත ගොඩ එන්න අමාරුයි. ලෙස්සලා වැටෙනවා. මේ ඌරා ළිඳත් ඒ වගෙයි. සටනකට ඉදිරිපත් වුණු දෙදෙනෙකු ඌරා ළිඳට පිවිසෙන්නේ කරණමක් ගහමිනුයි. ජයග්‍රහණයෙන් පසුව ජයග්‍රාහකයා ගොඩට පැමිණීම සිදුකළෙත් කරණමකින්මයි. අතීතයේ ඌරා ළිඳේ සටනක් අවසන් වුණේ එක් අයෙකු මිය ගිය විටයි. නැතිනම් බරපතල ලෙස තුවාල වූ පසුවයි. ඒ වගේම අපේ ශිල්පයේ ඕනෑම තුවාලකයට අවශ්‍ය ඖෂධ තියෙනවා. අදටත් කැපුම් තුවාලයක් ක්ෂණිව බාවෙන බෙහෙත් අප සතුයි.“ අජන්ත විසින් ඉලංගම් මඩුව ආශ්‍රිත කරුණු කාරණා එකිනෙක විස්තර කළේ ය.


“අපි මේ වාඩිවෙලා ඉන්න තැනදී තමයි ඉලංගම් මඩුවට එන හැමෝම ඇතුළු වෙන්නේ. පුහුණුව සඳහා කෙනෙකු පැමිණියාම ඔහුගේ හඳහන බැලෙනවා. බුලත් හුරුල්ල දීලා ගෝලයෙකුව භාරගන්නේ මෙතනදී. ඒ හැරෙන්න අංගම් මඩුවේ සටන් පුහුණු වන ස්ථානයට යන්න අවසර තියෙන්නනේ අංගම් ශිල්පීන්ට පමණයි. ඉලංගම් මඩුවේදී සම්සත අංගම් හරඹ ඉගැන්වෙනවා. මුලින්ම නිරයුධ සටන් ක්‍රමයක් වූ අංගම් පොර ඉගැන්වෙනවා. පසුව අව ආයුධ 21ක් පරිහරණය කිරීම ඉගැන්වෙනවා. කඩු, මුගුරු, හෙළි, කිරිච්චි ආදිය මීට ඇතුළත්. මේ සියල්ල පුගුණ කළ අයෙකුට අතට අසුවන ඕනෑම දෙයක් ආයුධයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. තමන් හැඳ සිටින ඇඳුම පවා ආයුධයක් කර ගන්න පුළුවන්. මීට අමතරව නිල ශාස්ත්‍රය, බෙර වාදනය, වෙදකම, නක්ෂත්‍රය මන්ත්‍ර ශාස්ත්‍රය ඉගැන්වෙනවා.“ අජන්ත කියා සිටියේ.


“අපේ සටන් කාලාවක් ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්. අද අපේ රටේ පැතිරිලා තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල උගන්වපු සටන් ශිල්ප. ඒවා අපේ කරගෙන. නමුත් ඒ කිසිම සටන් ශිල්පයකට අපිට වගේ දීර්ෂ ඉතිහාසයක් නැහැ. මම මේ ශිල්පය හැමෝටම දෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම වෙනත් සටන් පුහුණු පන්ති වගේ අංගම් ශිල්පය මුදලට විකුණන්න තීරණය කළොත් එතනදී වෙන්නේ ගනුදෙනුවක් විතරයි. මං ඔබට ගාණක් ගෙවනවා. ඔබ මට උගන්වනවා. බැහැයි නියම ශිල්පයේදී ඊට වඩා ගුරුගෝල සම්බන්ධය වැදගත්. සංස්කෘතික දෙපාර්තමෙන්තුවේ ලියාපදිංචිය සහිතව ‘ඇඟේ මැඬිල්ල රණපිල‘ නමින් මේ ඉලංගම් මඩුව හැදුවේ මගේ ගෝල පිරිස. මේ නියර දිගේ පොල්කොට උසසගෙන ආවේ ඔවුන්. නමුත් මුදල් ගෙවා ඉගෙන ගන්න අයගේ මේ කැපවීම බලාපොරෝතු වෙන්න බැහැ. සිංහල බෞද්ධ, හොඳ ග්‍රහයෝග තියෙන, සටන පිහිටයි කියලා හිතෙන ශිෂ්‍යෙයා් කිහිප දෙනෙකුට අංගම් ශිල්පය ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ ගෝලයෝ හයදෙනා දොලොස් දෙනක් වුණොත් නිහතමානී සතුටක් ඇතිවෙයි. මොකද තව පිරිසක් මේ ශිල්පය රැකගන්න ඉදිරපිත් වන නිසා. දැනට ඉන්න අය හැමෝම මගේ ලේ ඥාතීන්. මගේ වාසනාවට මට සමකාලීනයෝ ටිකක එකතු වුණා. මම මගේ තරුණ ජීවිතය අංගම් ශිල්පය වෙනුවෙන් කැප කළා. ඇතැම් දෙනා මට මඩ ප්‍රහාර එල්ල කරනවා. වාද විවාද කරනවා. නමුත් මම විශ්වාස කරන හැටියට බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. ඒ වගේම බල්ලෝ අපි කෑවට අපි බල්ලන්ව කන්න යන්නෙත් නැහැ. ඒ නිසා මම කිසිම දෙයකින් සැලෙන්නේ නැහැ. බය වෙන්නෙත් නැහ. මම රට දැය සමය වෙනුවෙන් මගේ යුතුකම, වගකීම ඉටු කරනවා.“ අප්‍රතිහත ධෛර්යයික්න යුතු මේ හෙළ පුත්‍රයාගේ වරුණ කියා නිමකළ නොහැකිය. රටක වගකිවයුතු පාර්ශවයන් මෙවැනි තරුණයන්ගේ අගය වටහාගෙන නොතිබීම රටේ අභාග්‍යයකි. අපෙන් දුරස්ව යන අපේම සටන් කලාවේ නිරතවෙන හෙළ වීරවරයින් සමුදෙමින් අපි ඉලංගම් මඩුවෙන් නික්ම ගියෙමු.

--------------------------------

Published on: 2013-04-21