සිංහල
අංගම්පොර සටන් ශිල්පය කලඑළි බැසගත් මුල්ලේරියා සටන

Angampora Fightඉතා සෙමින් එහෙත් ක‍්‍රමාණුකූලව සමස්ථ ශ‍්‍රී ලංකාවම යටත් කර ගැනීමේ සැළසුමක නිරත වූ පෘතුගීසි හමුදාවන්ට තම අරමුණ ඉටුකර ගැනීම සදහා තිබූ ප‍්‍රධාන බාධකය වූයේ සීතාවක රාජධානියයි.සමස්ථ රටම යටත් කර ගැනීමට පැමිණි පෘතුගීසි සේනාවට අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදු වූයේ සීතාවක දීය.

 

දේශීය සටන් ක‍්‍රමයන්ගෙන් සන්නද්ධ වූ සිංහල හමුදාවෝ ගිනි අවි අතට ගත් පෘතුගීසි භටයන්ට එලව එලවා පහර දී පරංගීන් සිය ගණනක් මරා දැමුවේ සීතාවකදීය.

 

මෙම සටනේදී අංගම්පොර සටන් ශිල්පයෙන් සන්නද්ධ වූ සිංහල සෙනවියන්ට මුහුණ දීමට ශක්තියක් පරංගීන්ට නොවීය.මෙරට ඉතිහාසයේ අංගම්පොර සටන් ක‍්‍රමය ප‍්‍රසිද්ධියේ කලඑළි බැසුනු අවස්ථාව ලෙස වාර්තා වන්නේ සුපතල සීතාවක සටනය.

පෘතුගීසීන් කෝට්ටේ රජුවන දොන් ජුවන් ධර්මපාල සමගින් එකතු වී 1562 ජුලි මාසයේදී සීතාවක රාජධානියට පහර දීම සදහා කෝට්ටෙන් පිටත් වූහ.සීතාවක රාජධානියේ පිවිසුම් මාර්ගය පිහිට් කොළෙන්නාවට හා මුල්ලේරියාවට පහර දී යටත් කොටගෙන සීතාවකට පහර දීමට පැමිණි සේනා ප‍්‍රථමයෙන් කොළොන්නාව කදවුර සියතට ගත්හ. ඉන්පසුව මුල්ලේරියාවට පැමිණ කුදවුරු බැද ගත් පෘතුගීසීන් සිය කදවුරු මුල්ලේරියා වැවටත් කැළණි ගගටත් මායිම් වූ අඹතලේ ග‍්‍රාමයේ පිහිට වූහ.

 

මේ කාළය වන විට සීතාවක රාජධානියේ මහා සේනාධිපති තනතුරට පත්ව සිටියේ දක්ෂ අශ්වාරෝහකයකු වූ ඒකනායක මහ සෙනෙවිතුමාය. ඔහු යටතේ පුහුණුව ලැබූ හාරදාහක අශ්වාරෝහක හමුදාවක් වූහ. අඹතලේ කදවුරු බැදගෙන සිටින පරංගි සේනාව සමූල ඝාතනය කිරීම ඉවසිලිවන්තව සැලසුම් කළ ඔහු සතුරා මුලාවට පත් කොට පහර දීමට සුදුසුම ක‍්‍රමය අංගම්පොර සටන් ක‍්‍රමය බවට තීරණය කළේය.

 

අංගම් ශිල්පය පිළිබද මනා අවබෝධයක් තිබූ කොරතොට කුරුප්පු ආරච්චි කැදවූ හෙතෙම අතුරුගිරියේ ආරච්චි සහ හෝමාගම අංගම් සටන්කරුවන් කැදවාගෙන සටන මෙහෙය වීම ඔහුට පැවරීය.

 

අංගම් සටන් කරුවන් සිය ගණනක් පිරිවරාගත් කොරතොට කුරුප්පු ආරච්චි 1562 අගෝස්තු 8 වැනිදාට එළිවෙන්නට හෝරා තුනක් තිබියදී සටන් බිමේ තද නින්දේ පසුවන සතුරා වෙත කඩා පැන් පහර දෙන්නට පටන් ගත්හ.පරංගි සේනාවට සිතා ගැනීමට වත් ඉඩ නොතබා සටන් බිම දෙවනත් කරමින් සටන් කළ අංගම් ශූරයන් එකවර පරංගින් හතර පස් දෙනා බිම හෙලූහ.

 

කඩු හරඹ සහ අංගම් සටන් කලාවේ දක්ෂයෙක් වූ ටිකිරි කුමරු අභීත ලෙස අසු හා අසිපත මෙහෙයවමින් සිංහලයන්ගේ රණශූරත්වය පෙන්නුම් කළේය.මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හරවමින් පරංගීන් මරුමුවට පත් කළ මෙම අභීත සටන් ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ අභිමානය කියා පෑමට දැනට අපට ශේෂව ඇති දායදයකි.

 

කතරගම මහසෙන් හා රාවණා යුගයේ පටන් පැවත ආ සිංහලයින්ට පමණක් සුවිශේෂී වූ අංගම්පොර සටන් කලාව ගිණි අවි අතහැර සටන එන ඕනම ජගතෙකු බිමහෙළිමට තරම් සමත්ය.පරපුරෙන් පරපුරට රැගෙන ආ දියුණූ ශිල්ප ක‍්‍රමයක් වන අංගම් පොර ඉලංගං සටන් මන්ත‍්‍ර ශාස්ත‍්‍ර රණ බෙර වාදනය නිල වෙදකම යනුවෙන් කොටස් පහකින් සමන්විතය.

 

මරු නිල ශිස්ත‍්‍රය මෙම සටන් ක‍්‍රමයේ සුවිශේෂි ක‍්‍රමයක් වන අතර විදේශ ආක‍්‍රමණ වලදී පමණක් එය භාවිතයට ගැනේ.පෞද්ගලිකව ප‍්‍රතිවාදීන්ට විරුද්ධව එම සටන් ක‍්‍රමය භාවිත නොකරන බවට ශිල්පය හදාරන්නා ගුරුවරයාට දිවුරා පොරොන්දු විය යුතුය.

 

මරු නිල ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ සටන්කරුවෙකුට සතුරා කල් ගතව මැරෙන්නට ගොළු වන්නට බිහිරි වන්නට එසේත් නැත්නම් සිහිනැති වන්නට නිල අල්ලා පහර දිය හැකි අතර එවැනි ආබාධ සුවපත් කළ හැක්කේ අංගම් නිල තෙරපුම් මගින් පමණි.

 

අංගම්පොර පිටිය සැකසීම හා පුහුණූ උපකරණ

 

ඌරාවළ අංගම් පොර ශාස්ත‍්‍රය පුහුණූ කිරීමේ දී යොදා ගන්නා පුහුණූ ස්ථානයකි.මඩ වල දෙපස සාදා ඇති කුටි දෙකකින් පැමිණෙන සටන්කරුවන් මෙම මඩ වල තුළ සටන් කල යුතු අතර සතුරා මෙල්ල කර මඩ වළෙන් උඩට පැමිණෙන තැනැත්තා ජයග‍්‍රාහකයා ලෙස සැළකේ. මෙම සටන් ක‍්‍රමයේදී කය පමණක් නොව මනසද වෙහෙසිය යුතුය.අවධානය ද එක ලෙස පැවතිය යුතුය.

 

වර්ථමානයේ කොට්ට පොර ගැසීම සදහා සාදා ගන්නා උපකරණයට සමාන අට්ටාලයක් උඩ සිටගෙන සටන් ප‍්‍රගුණ කළ යුතුය.මෙහිදී සමබරතාවය ආරක්ෂා කර ගත යුතුය.පොර පිටිය ද අංගම්පොර සටන් කලාවේ විශේෂ ස්ථානයක් ගන්නා අතර වර්ථමානයේ මල්ලව පොර ඇල්ලීම මෙම සටන් ක‍්‍රමයට සමානය.

 

ඉංග‍්‍රීසි හෝඩියේ කැපිටල් ටී අකුරට සමාන වූ තවත් එක් පුහුණු උපකරණයක් ඇත.මෙම උපකරණයේ එක් කෙළවරකට පයින් ගැසිය යුතු අතර මෙම උපකරණය තරමක් උසකින් යුක්තය. මෙම උපකරණයේ එක් කොටසකට පයින් ගසනවාත් සමග අනෙක් කෙළවර මුහුණේ වැදීමට හැකිය.සමබරතාවය පහර දීම යන සියල්ල කෙරෙහිද මෙහිදී අවධානයක් තිබිය යුතුය.

 

කරනම් පුහුණූ ස්ථානයක් හා දුණූ හරඹ පුහුණු ස්ථානයක් ද මෙම අංගම් පොර පුහුණු පිටියෙහි දක්නට ලැබෙන අතර ද්වන්ද සටන් පුහුණු ස්ථානය වැලි සහිත බ්මක නිර්මාණය කර ඇත.මෙහිදී සතුරාගේ මුහුණට වැලි ගසා මර්ධනය කිරීමේ හැකියාවද පවතී.මෙම සටන් ක‍්‍රමයේ දී සුලු වැරදීමක් වුවහොත් මරණය පවා සිදු විය හැකිය.

 

අංගම් මඩුව යනු අංගම් ශිල්පයට සම්බන්ධ යෝග ක‍්‍රම නිල ශාස්ත‍්‍ර භාවනා හා පහර දීමේ ක‍්‍රම ආදිය පුහුණු කරන ස්ථානයයි.අංගම් මඩුව කෙළවර ගුරුවරයා සිටින කේන්ද්‍රස්ථානය පිහිටා ඇත.මෙම කේන්ද්‍රස්ථානය පුහුණු පිටියේ සෑම ස්ථානයක්ම හොදින් දිස් වන අයුරින් නිර්මාණය කර ඇත.

 

එමෙන්ම දේශීය වෛද්‍ය ක‍්‍රමයද මෙම සටන් කලාව හා සම්බන්ධ වේ.පුහුණු පිටිය දෙපස ඔසු උයන් නිරිමාණය කර ඇති අතර පුහුණුවේ දී සිදු වන අනතුරු වලදී ප‍්‍රතිකාර කිරීම සදහා උපයෝගී කරගනී.

 

රාජසිංහ රජු දේවත්වයෙහිලා සැළකීම සදහා රාවණා දෙවොල මෑතකදී අංගම් පොර පිටියට පැමිණි අංගයකි.ඒ පසුකාලීනව රාජසිංහ රජු බවට පත් වූ ටිකිරි කුමරු මුල්ලේරියා සටනේ පුරෝගාමීයා වූ නිසාවෙනි.මේ වන විට අංගම්පොර සටන් ක‍්‍රමය ලංකාවේ ප‍්‍රගුණ කෙරුණද එය සටන් ක‍්‍රමයක් ලෙස භාවිතයට ගැනෙන්නේ නැත.

--------------------------------

Published on: 2011-05-21