සිංහල
රාසිං දෙවි රැකවරණය ලද අංගම්පොර ශිල්පය

Angampora Ajantha Mahantharachchiඔහු නමින් මහන්තආරච්චිගේ අජන්ත, ලංකාවේ අංගම්පොර ශිල්පී අවසාන පරපුරේ අවසාන පුරුකයි. හුදු සටන් කලාවක්‌ම නොව සකල කලා ශිල්පයන් වන නර්තනය, සංගීතය, ජ්‍යෙතිෂය, නිල, වෛද්‍ය, හා බෞද්ධ ආභාෂය ලද පුරාණ සටන් ශිල්පයක්‌ ප්‍රගුණ කිරීමේලා සිය මුතුන්මිත්තන්ගෙන් වරම ලද මේ ළාබාල තරුණයා මෙසේ සිය දේශීය සටන් කලාවේ පුරාණය මා හමුවේ දිගහැරියේ, අතීත අංගම් මඬුවක්‌ව තිබූ තැනකැයි සැලකිය හැකි මනරම් පරිසරයක, පැරණි කමතක ගොඩනැගූ ලංකාවේ එකම අංගම් මඬුව වන කඩුවෙල ග්‍රාමයේ කොරතොට කඳු පාමුල සිය ශිල්පායතනයේ සිටය.

ඔහු විසින් පවසන පරිදි අවුරුදු 5000 කටත් වඩා පැරණි රාවණ යුගයටත් එහා ඈත අතීතයේ සිට පැවත එන මෙම අංගම් පොර ශිල්පය අයත්වනුයේ ලංකාවේ විසූ ආදිතම යක්‍ෂ ගෝත්‍රිකයන්ටය. ඈත අතීතය වසර 30,000 කට කිට්‌ටු කාලයක සිට ගෝස්‌සර නම්වූ ශාක පොතු වර්ගයක ලියන ලද වර්ග පූර්ණිකාව හා පංචරක්‌ඛාවලිය නම්වූ ඉපැරණි ග්‍රන්ථ වලින් දැක්‌වෙන මෙකී සටන් කලාව එවකට විසූ ඉසිවරුන් 9 දෙනකු විසින් ඇරඹීයෑයි සැලකේ. බෞද්ධ ආගමික ආභාෂය කාශ්‍යප බුදුන් වැඩසිටි රාවන යුගයේදී එයට එකතුවී ඇත.

මෙම ශිල්පයේ පුරෝගාමියා ලෙස සැලකිය හැකි ස්‌කන්ධ කුමරුන්ගේ මහසෙන් නම්වූ සෙන්පතියාගෙන් අනතුරුව එවකට දිවයින පුරාම පැතිරී ගිය ශිල්පයක්‌ විය. අනතුරුව වැඩ විසූ මහා පුලතිසි, අගස්‌ති, නාරද හා කපිල යන ඉසිවරුන් මෙයට පුනර්ජීවයක්‌ දීමට කටයුතු කළා යෑයි සැලකේ. මෙයිනුත් රාවණා රජුගේ ඥති අගස්‌ති සෘෂිවරයා මගින් රාවණයෝ මෙකී සකල කලා අඩංගු අංගම් ශිල්පය මනාසේ ප්‍රගුණ කළහ. ඒ බවට සාධක එමට ඇත. මෙසේ ශත වර්ෂ ගණනාවක්‌ හෙලදිව අසහාය රණශූරයන් බිහිකළ මෙම අංගම් ශිල්පය විජයාගමනයෙන් හා කුවේණිගේ පාවාදීමෙන් අනතුරුව සී. සී. කඩව විසිර ගිය යක්‍ෂ, රාක්‍ෂ හා නාග ගෝත්‍රිකයන් විසින් පරම්පරාගතව රැකගත් නමුත් එකල පැවති ඉන්දීය ආක්‍රමණිකයන්ගේ අමානුෂික සමූලඝාතන වලදී නෂ්ඨාවශේෂ බවට පත් විය. එහෙත් සීතාවක, හේවාගම් කෝරළය තුළ කොරතොට රජමහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගතව පවත්වාගෙන යැමට ඉතිරි වූ ගෝත්‍රික නායකයන් සමත් වූ බව එහි ඉතිහාසයෙන් කියෑවේ. මේ බව සනාථ කරන සෙල්ලිපි කොරතොට කන්ද ආශ්‍රිතව හමුවී ඇත.

අද මහා පරිසර විනාශයකට තුඩුදී ඇති මෙම කොරතොට කන්ද ආශ්‍රිත ගල්ගුහාවල සිය සටන් ශිල්පය ප්‍රගුණ කළ අජන්ත ශිල්පියාට අද එකී පරිසරය තහනම් වී

ඇතිවා පමණක්‌ නොව, එකී සෙල්ලිපිද යථාතත්ත්වයට ගත නොහැකි තරමට විනාශවී ගොස්‌ ඇති බවත්, තමන් බොහෝ වාරයක්‌ රජයෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටි මෙම ඓතිහාසික කොරතොට කන්ද ආරක්‍ෂා කරගැනීමට කිසිම ආකාරයට සහනයක්‌ වත් සැලසී නැති බවද ඔහු දැඩි වේදනාවකින් පැවසීය. කොරතොට කන්ද ආශ්‍රිතව පටන්ගත් බොහෝ පුරාවිද්‍යා ස්‌ථාන සීතාවක දක්‌වා විහිදී යයි.

ඉතිහාසඥයන් විසින් කළු චරිතයක්‌ බවට පත්කරන ලද හෙලයේ අසහාය රණශූරයෙක්‌ වන පළමුවැනි රාජසිංහ රජු හෙවත් ටිකිරි බණ්‌ඩාර කුමරුන් අංගම්පොර ශිල්පයේ කෙලපැමිණියෙකි. අජන්ත ශිල්පියාගේ මුතුන්මිත්තන් වන මහන්නේ පරම්පරාවෙන් සිය සටන් කලාව ප්‍රගුණ කළ ටිකිරි බණ්‌ඩාර කුමරුන්ගේ දෑතේ ශක්‌තියට ඉතිහාසයම දෙස්‌ දෙයි. අංගම්මන බිහිසුණු කුළු හරකා මෙල්ල කිරීම වැනි වීර ක්‍රියා ඒ බව සනාථ කරයි. පෘතුගීසීන්ට එරෙහිව මුල්ලේරියා වෙලේ කරන ලද අවසාන මහා සටනේදී යුද වැදුනු බොහෝ රණශූරයෝ අංගම් ශිල්පයේ කෙලපැමිණියෝ වූහ. ලෙව්කේ දිසාව ඉන් ප්‍රමුඛ තැන ගනී. මෙසේ පෘතුගීසි සමයේදී මෙම ශිල්පය ලංකාවේ සියනෑ කෝරළයේ සිට රයිගම් කෝරළය දක්‌වාම පැතිරී ගියේය. පළමුවන රාජසිංහ රජු විසින් ප්‍රසිද්ධ අංගම්මඬු ශිල්පායතන හතක්‌ කොරතොට දිශාවේ අරඹා තිබුණි. මෙම ශිල්ප පරපුරේ අවසාන සටන වූයේ 1818 දී ඉංග්‍රීසීන්ට විරුද්ධව මෙහෙයවූ කැරැල්ලය. මෙහිදී සටන් කළ බූටෑවේ රාළ හා කිවුලේගෙදර රාළද මෙම ශිල්පය මනාසේ ප්‍රගුණ කළෝ වූහ. කිවුලේගෙදර රාළ යක්‍ෂ ගෝත්‍රික නායකයෙකි.

ඉංග්‍රීසීහු මෙම ශිල්පී පරපුර සමූල ඝාතනය කිරීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ ප්‍රධානතම මතය වූයේ සිංහලයා මැරීමටත් වඩා සිංහලයා තුළ සැඟවී ඇති හෙලකම මරා දැමීමය. ඔවුන් එම කර්තව්‍යයේ බොහෝ දුරට සාර්ථක වූ බවට අදටද බිහිවෙන සාධක තුළින් අපට පෙනී යයි. එවකට විසූ කොරතොට විහාරාධිපති කොරතොට සෝභිත, වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි වැනි නාහිමිවරුද මෙම ශිල්පය ප්‍රගුණ කළෝය. අද පත්තිනි මෑණියන් ලෙස හඳුන්වන්නේද එදා විසූ රණශූර අංගම් ශිල්පිනියකි. පසුකලෙක එතුමියගේ ආයුධය වූ පත්තිනි සලඹ ඉන්දියාවට හොරෙන් රැගෙන ගියද, ගජබාහු රජ සමයේ එය ආපසු ලබාගෙන සඟවා තැබූ ඇඹලව නම් ප්‍රදේශයද කොරතොට කන්දට ආසන්නව පිහිටා ඇත.

එදා යක්‍ෂ ගෝත්‍රික නායක යන් වූ යක්‍ෂ පරපුර විසින් දිගටම පවත්වා ගෙන ආ මෙම සටන් කලාව සඳහා නවකයන් බඳවා ගන්නේද ජන්මපත්‍ර පරීක්‍ෂා කර සුදුසු පරිදිය. සෑම හන්දියක්‌ ගානේම බිහිව ඇති සටන් පාඨමාලා සඳහා ඉඩකඩ ඇති මෙකල සැබෑ දේශීය අංගම් සටන් කලාව, සිය රැකියාවද පරදුවට තබා අනාගත පරපුරට දායාද කරනට සැදී පැහැදී සිටින මේ සටන් ශිල්පියාට තම පරපුරෙන් එන ආයුධ හා අනිකුත් පුරා වස්‌තූන් රැකගැනීමට ඉල්ලා සිටින්නේ, ආරක්‍ෂාව ඇති තැනක්‌ හා කුඩා ප්‍රදර්ශන ස්‌ථානයක්‌ පමණි. සුදුසු ජන්ම ශක්‌තිය ඇති තරුණ තරුණියන් හට මෙම ශිල්පය පුqහුණු කිරීමට ඔහු ඉතාම කැමැත්තෙන් සිටින අතර මුදල් පසුපස හඹා නොයන මොහු මෙම සටන් කලාවේ උන්නතිය පමණක්‌ පතා සිටින බවට ඔහුගේ ජීවන තත්ත්වයම හොඳ සාක්‍ෂියකි. ඔහුගේම වචන වලින්ම කිවහොත් "මම තවමත් යෑපෙන්නේ අම්මා තත්තාගෙන්".

මෙම සටන් කලාවේදී ආයුධ වර්ග 21 ක්‌ භාවිත වේ. එමෙන්ම කඩු වර්ගද 32 කි. ඔහු විසින් රජයෙන් මෙම ආයුධ සඳහා බලපත්‍රයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා සිටියද එය නොලැබිණි. විශේෂයෙන් මෙම ශිල්පය ප්‍රගුණ කිරීම සඳහා ආදිවාසී තරුණයන් බඳවා ගැනීමට ඔහු කැමැත්තෙන් සිටියද ගමනාගමන අපහසුව හා ආයුධ ප්‍රවාහනයේ අපහසුවද නිසා ඔහුට එම කාර්යය කිරීමට බරපතල ප්‍රශ්න උද්ගත වී ඇත. මේ ගැන සොයා බලා මෙම ශිල්පියාගේ දක්‍ෂතාව හා වැදගත්කම තේරුම්ගෙන මෙම සටන් කලාව හෙලයාගේ පාරම්පරික උරුමයක්‌ ලෙස රැකගැනීමට ඔහුට අතහිත දීමට වගකිවයුත්තන්ගේ දැස්‌ යොමුවේවාෘ යි පතමු. එමෙන්ම මේ ශිල්පය හැදැරීමටත් එයට නවපණක්‌ දීමටත් අතහිත දියහැකි දානපතියන් සිටීනම් එය දැයට කරන්නාවූ මහත් සේවයක්‌ වනු නොඅනුමානය. මෙහිලා සඳහන් නොකළ එහෙත් පරම්පරාවෙන් ඔහු විසින් ප්‍රගුණ කරන ලද තවත් සටන් ක්‍රම අටක්‌ද ඇති බව අවසනට පැවසූ ඔහු අනාගතයේදී සුදුසු වාසනාව ඇති ලක්‌ දූ පුතුන් වෙත එයද පරිත්‍යාග කිරීම තම එකම අභිලාෂය බවද පැවසීය.

--------------------------------

Published on: 2011-05-30